අප්‍රේල් 23 වැනිදා පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ව්‍යාජ ලේඛන භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කළ විදේශිකයන් 10 දෙනෙකු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු මෙන්ම එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල පුරවැසිභාවය හිමි පුද්ගලයන් ද සිටින බව වාර්තා වේ.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නැවත තමන් පදිංචි රටවල් බලා යාම සඳහා චෙන්නායි සහ මදුරෙයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට පත්ව ඇත. විදේශ ගමන් බලපත්‍ර හිමි මෙම පුද්ගලයන්ගේ දබරැඟිලිවල ඡන්දය ප්‍රකාශ කිරීමේදී ආලේප කරන නොමැකෙන තීන්ත සලකුණු තිබීම ගුවන්තොටුපොළ බලධාරීන්ගේ සැකයට හේතු වී තිබේ.
ඉන්දීය මැතිවරණ නීතියට අනුව වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් අයෙකුට ඉන්දියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම සපුරා තහනම්ය. සැකකරුවන් ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර මෙම වංචාව සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නඩු 9ක් ගොනු කර තිබේ. ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














