යෝජිත “රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” මගින් මූලික අයිතිවාසිකම්, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්රජාතන්ත්රවාදී නිදහසට බලපෑම් එල්ල විය හැකි බව ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය අනතුරු අඟවා තිබේ.
2026 සැප්තැම්බර් 22 වැනිදා ගැසට් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් දැනට ක්රියාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව නීතියක් හඳුන්වා දීමට යෝජනා කර ඇත. එහි ත්රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම, විධායක බලතල පුළුල් කිරීම සහ පරිපාලනමය රඳවා තැබීම් සම්බන්ධ විධිවිධාන පිළිබඳව TISL සිය කනස්සල්ල පළ කරයි.
දේපළ, පරිසරය, සංස්කෘතික දේපළ සහ විද්යුත් පද්ධතිවලට හානි කිරීම වැනි ක්රියාකාරකම්ද ත්රස්තවාදය යටතට ඇතුළත් විය හැකි පරිදි අර්ථ දැක්වීම පුළුල් කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. එමගින් සාමාන්ය අපරාධ නීතිය යටතේ විසඳිය යුතු සිදුවීම් ත්රස්ත විරෝධී නීති යටතට ගැනීමේ අවදානමක් පවතින බවත්, ප්රකාශනයේ, සංගමයේ සහ සාමකාමී පුරවැසි ක්රියාකාරකම්වල නිදහසට අසමානුපාතික සීමා පැනවිය හැකි බවත් එහි සඳහන් වේ.
තවද, අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම, භාණ්ඩ අත්පත් කර ගැනීම සහ ප්රශ්න කිරීම සම්බන්ධයෙන් ත්රිවිධ හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට පුළුල් බලතල ලබාදීම පිළිබඳවද TISL අවධානය යොමු කර තිබේ. ප්රමාණවත් ආරක්ෂණ විධිවිධාන නොමැති වීමෙන් වගවීමේ ගැටලු සහ අත්තනෝමතික ක්රියාමාර්ගවල අවදානම ඉහළ යා හැකි බව එම සංවිධානය පවසයි.
ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට මුල් අවස්ථාවේදී මාස දෙකක කාලයක් සඳහා රඳවා තැබීමේ නියෝග නිකුත් කිරීමට අවසර ලැබීමත්, එම රඳවා තැබීමේ අවශ්යතාව ස්වාධීනව සලකා බැලීමේ මහේස්ත්රාත්වරයාගේ බලය සීමා වීමත් පිළිබඳවද TISL විරෝධය පළ කර ඇත. එමෙන්ම, සංවිධාන තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයාට බලය ලබාදෙන විධිවිධාන තුළ නිශ්චිත කාලසීමා සහ ප්රමාණවත් ආරක්ෂණ නොමැති වීමෙන් සංගම්ගත වීමේ නිදහසට බලපෑම් ඇති විය හැකි බවද පෙන්වා දී තිබේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධ නීත්යනුකූල ගැටලු විසඳීම රාජ්යයේ වගකීමක් බව පිළිගන්නා අතරම, එම අරමුණ වෙනුවෙන් මූලික අයිතිවාසිකම්, සාධාරණ නීතිමය ක්රියාවලිය සහ අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල නොකළ යුතු බව TISL අවධාරණය කරයි.
ඒ අනුව, යෝජිත 2026 රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කර, දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත ප්රමාදයකින් තොරව අහෝසි කරන ලෙස එම සංවිධානය රජයෙන් ඉල්ලා තිබේ. නව නීතියක් සකස් කරන්නේ නම් විධායක බලතල සඳහා පැහැදිලි සීමා, ඵලදායී වගවීමේ ක්රමවේද සහ අත්තනෝමතික රඳවා තැබීම් වැළැක්වීමේ ආරක්ෂණ ඇතුළත් කළ යුතු බවද එය වැඩිදුරටත් සඳහන් කරයි.













