ශ්‍රී ලංකාව තුළ දුම්වැටි බදු ඉහළ නැංවීමට එරෙහිව සහ මෙරට දැනට පවතින දැඩි දුම්කොළ පාලන නීති ලිහිල් කරවා ගැනීම සඳහා දුම්කොළ සමාගම් විසින් මෙරට ඇතැම් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වෙත අතිදැවැන්ත ලෙස අතයටින් මුදල් (Bribing journalists) ගෙවමින් අලුත්ම සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව මාධ්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර තොරතුරු ඇසුරින් බරපතළ හෙළිදරව්වක් සිදුව තිබේ. දුම්වැටි විරෝධී මහජන මතය සැහැල්ලු කිරීම සහ පාලකයන් මුලා කිරීම අරමුණු කරගනිමින්, ලේඛකයාගේ නමක් පවා නොමැතිව ප්‍රසිද්ධ කර ඇති විශේෂ ප්‍රචාරක ලිපියක් (Sponsored PR article) විශ්ලේෂණය කිරීමේදී මෙම මහා පරිමාණ මාධ්‍ය මාෆියාව දත්ත සහිතව තහවුරු වේ.
“හානිය අවම නිකොටින් නිෂ්පාදන තහනම් කිරීම මහජන සෞඛ්‍යයට බාධාවක්” යන ව්‍යාජ ශීර්ෂය යටතේ පළ කර ඇති මෙම ලිපිය, දුම්කොළ භාවිතයෙන් ඇතිවන හානිය අවම කිරීමේ (Tobacco Harm Reduction – THR) සංකල්පය පලිහක් කරගනිමින් ලංකාව තුළ දැනට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති විද්‍යුත් සිගරට් (E-Cigarettes) සහ රත් කරන ලද දුම්කොළ නිෂ්පාදන (Heated Tobacco Products – HTPs) සඳහා නෛතික අවකාශයක් සලසා ගැනීමට සමාගම් විසින් සකස් කරන ලද්දකි.
ඔස්ට්‍රේලියානු සංවිධානයක හිටපු සභාපතිවරයෙකු වන ආචාර්ය ඇලෙක්ස් වෝඩැක් (Dr. Alex Wodak) නැමැත්තෙකු පෝලන්තයේ වෝර්සෝහි පැවැති “නිකොටින් පිළිබඳ ගෝලීය සංසදයේදී” (GFN) කළ ප්‍රකාශ උපුටා දක්වමින් මෙම ලිපිය ලියා ඇති අතර, එහි ප්‍රධානතම අරමුණ වී ඇත්තේ සාම්ප්‍රදායික සිගරට් වෙනුවට නවීන විද්‍යුත් සිගරට් වර්ග ලංකාවේ නීත්‍යනුකූල කරවා ගැනීමයි.
කෙසේ වෙතත්, වෛද්‍ය විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන්නේ මෙම THR (හානිය අවම කිරීමේ) තර්කය යනු දුම්කොළ සමාගම් විසින් තරුණ පරපුර විද්‍යුත් සිගරට් (Vape) සඳහා ඇබ්බැහි කරවීම වෙනුවෙන් ලොව පුරා පතුරුවන තවත් සූක්ෂ්ම මුසාවක් බවයි. ශ්‍රී ලංකාවේ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (NATA Act) සහ 2016 දී පැනවූ විශේෂ රෙගුලාසි මගින් ලංකාව තුළ විද්‍යුත් සිගරට් සහ රසකාරක යෙදූ දුම්වැටි නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත්තේ මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙනි. රජයේ බදු ආදායම් අහිමි වීම සහ නීති විරෝධී ජාවාරම් වර්ධනය වීම වැනි බියගැන්වීම් සිදුකරමින්, මෙම නීතිමය තහනම ඉවත් කරවා ගෙන නවීන මාරාන්තික විෂ නිෂ්පාදන ලංකාවේ වෙළඳපොළට මුදාහැරීමට දුම්කොළ මාෆියාව දරන මෙම උත්සාහය සහ ඊට හසුවන අතළොස්සක් වූ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙරට සෞඛ්‍ය බලධාරීන් සහ බුද්ධිමත් පුරවැසියන් දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
















