පසුගිය සතිඅන්තයේ හෝටන්තැන්න ජාතික උද්‍යානය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් එහි පනවා ඇති නීතිරීති දැඩි ලෙස උල්ලංගණය කරමින් වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කර තිබේ. එම උද්‍යානයේ නිදහසේ හැසිරෙන ගෝනුන් වැනි සතුන්ට ආහාර ලබා දීම, ඒවා ස්පර්ශ කිරීම, සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීම සහ සතුන් සැරිසරන පරිසර පද්ධතියට අනවසරයෙන් පිවිසීම තහනම් කර ඇතත්, අදාළ පිරිස එම නීති නොතකා කටයුතු කර ඇති බව වාර්තා වේ.
එම නීතිවිරෝධී හැසිරීම් එහි සංචාරය කළ තවත් පිරිසක් විසින් ජංගම දුරකථනවලින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ මේ වන විට පුළුල් කතාබාවකට ලක්ව තිබේ. ජාතික උද්‍යානවල පරිසරය සහ වනජීවී සම්පත් ආරක්ෂා කිරීම සඳහා පවතින නීති රීති මෙպරිදි නොසලකා හැරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව පරිසරවේදීහු පෙන්වා දෙති.
















