මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ත් 5ත් අතර මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් කිසිදු බාහිර හැකර්වරයෙකුගේ සම්බන්ධයක් නොමැති බවත් එය ආයතනය තුළම සිදුවූ බරපතල සාපරාධී නොසැලකිල්ලක් බවත් ‘දිනන දකුණ’ සංවිධානයේ ශිරාල් ලක්තිලක මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ මෙය තාක්ෂණිකව ‘බිස්නස් මේල් කොම්ප්‍රොමයිස්’ හෙවත් ‘ෆිෂිං’ ක්‍රියාවලියක් හරහා සිදුවූවක් බවයි. භාණ්ඩාගාර නිලධාරීන් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් විශ්වාස කර අදාළ විදේශීය බැංකුවේ ප්‍රධානීන් සමඟ නිසි ලෙස සන්නිවේදනය නොකර එහි සඳහන් දුරකථන අංකයකට පමණක් ඇමතුමක් ලබා දී මෙම මුදල් බැර කර ඇති බව ඔහු හෙළි කළේය.
මෙම සිදුවීම මධ්‍යම බැංකුවේ අනතුරු ඇඟවීම් පවා නොසලකා හරිමින් සිදුකළ ක්‍රියාවක් බවත් මින් රජයේ පාලනයේ පවතින දුර්වලතාවය මනාව පැහැදිලි වන බවත් ලක්තිලක මහතා චෝදනා කළේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා මෙය මාස තුනකට පෙර සිදුවූවක් බව පැවසුවද කැබිනට් ප්‍රකාශකවරයා ඒ පිළිබඳව දැනුවත් වී ඇත්තේ ඊයේ දිනයේදී බව පෙන්වා දුන් ඒ මහතා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට තොරතුරු වාර්තා නොකිරීම බරපතල ගැටලුවක් බව පැවසීය. පහළ මට්ටමේ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම ප්‍රමාණවත් නොවන බවත් මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මෙම සිද්ධිය යහපාලන ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවට සමාන කරමින් අදහස් දැක්වූ ලක්තිලක මහතා වත්මන් රජය මහා භාණ්ඩාගාරය කොල්ලකා ඇති බවට චෝදනා කළේය. පරීක්ෂණ මගින් කරුණු තහවුරු වුවහොත් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයාද සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙය කිසිසේත්ම සුළුවෙන් තකා යට ගැසිය නොහැකි රාජ්‍ය මට්ටමේ නොසැලකිල්ලක් බව පෙන්වා දුන් ඒ මහතා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් වහාම අවශ්‍ය බව අවසන් වශයෙන් සඳහන් කළේය.














