ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වනජීවී සංරක්ෂණ කටයුතු විධිමත් කිරීම සහ ක්ෂේත්‍ර රාජකාරි කාර්යක්ෂම කිරීමේ අරමුණින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා නවීන යතුරුපැදි 13ක් නිල වශයෙන් භාරදීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය වනජීවී කාර්යාලයේදී සිදු කෙරිණි.
ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණ දෙන ප්‍රවාහන හා යටිතල පහසුකම් ගැටලු සඳහා අදියරගත විසඳුමක් ලෙස මෙම යතුරුපැදි ලබා දී ඇති අතර, ඉදිරියේදී දිස්ත්‍රික්කයේ අලි වැට පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනෙකුත් වාහන හා යන්ත්‍රෝපකරණ පහසුකම් පුළුල් කිරීමටත් නියමිතය.
**මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු:**
* අනවසර ගස් කැපීම්, වන විනාශයන් සහ අනවසර මිනිස් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා අදාළ ස්ථාන වෙත කඩිනමින් ළඟාවීම.
* වනඅලි තර්ජන පවතින ගම්මාන වෙත ඉක්මනින් ගොස්, අලි වැට නඩත්තු හා අධීක්ෂණ කටයුතු වේගවත් කිරීම.
* ක්ෂේත්‍ර රාජකාරිවල පවතින ප්‍රමාදයන් අවම කර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම.
එමෙන්ම, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂ කමිටුව හරහා මෙතෙක් නිරාකරණය නොවූ ගැටලු සඳහා විනිවිදභාවයෙන් යුත් තිරසර විසඳුම් ලබාදීමටද අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.














