එළඹෙන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිත ඇලස්කා ප්රාන්ත සෙනෙට් සභා මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයේ ඩෑන් සුලිවාන් පරාජයට පත් වුවහොත්, එම මැතිවරණ ප්රතිඵලය නිල වශයෙන් සහතික කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ට්රම්ප් පාලනාධිකාරිය ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. වත්මන් සෙනෙට් සභික ඩෑන් සුලිවාන්ගේ නමට සමාන ‘ඩෑන් ජේ. සුලිවාන්’ නමැති තවත් ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර ඡන්ද පත්රිකාවට ඇතුළත් කර තිබීම මෙම නඩුවට මුල් වී ඇති අතර, ඒ හරහා ඡන්දදායකයින් දැඩි ලෙස නොමග යාමට සහ පටලැවිල්ලකට ලක්වීමට ඉඩ ඇති බව අධිකරණ අමාත්යාංශය පෙන්වා දී ඇත.
නව මත විමසුම්වලට අනුව වත්මන් රිපබ්ලිකන් සෙනෙට් සභික ඩෑන් සුලිවාන් සහ ඩිමොක්රටික් පක්ෂයේ මේරි පෙල්ටෝලා අතර අතිශය කරට කර තරගයක් පවතින අතර, එහිදී පෙල්ටෝලා සුළු ඉදිරියකින් පසුවන බව වාර්තා වේ. රිපබ්ලිකන් පාර්ශ්වය සහ ට්රම්ප් පාලනාධිකාරිය චෝදනා කරන්නේ විශ්රාමික ගුරුවරයෙකු වන අනෙක් ‘ඩෑන් සුලිවාන්’ තරගයට පැමිණ ඇත්තේම රිපබ්ලිකන් සෙනෙට් සභිකයාට ලැබෙන ඡන්ද කඩාකප්පල් කර ඩිමොක්රටික් අපේක්ෂිකාවට වාසි සැලසීමේ අරමුණින් බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ද මෙම දෙවැනි සුලිවාන්ගේ පැමිණීම වංචාවක් ලෙස හැඳින්වූ අතර, සෙනෙට් සභික ඩෑන් සුලිවාන් පරාජය වී එම පරාජයේ පරතරය අනෙක් සුලිවාන්ට ලැබුණු ඡන්ද සංඛ්යාවට වඩා අඩු නම්, ඡන්දදායකයින් අතර සිදුවූ නොමග යෑම් පිළිබඳව විමර්ශනයක් පවත්වා අවසන් වන තෙක් මැතිවරණ ප්රතිඵලය සහතික කිරීම අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්රතික්ෂේප කරන දෙවැනි ඩෑන් සුලිවාන් ප්රකාශ කර ඇත්තේ තමා කිසිදු දේශපාලන කුමන්ත්රණයකට සම්බන්ධ නැති බවත්, ඡන්දදායකයින්ට කැමති අපේක්ෂකයෙකු තෝරාගැනීමේ අයිතිය පැවතිය යුතු බවත්ය. මීට පෙර දෙවැනි සුලිවාන්ගේ නම ඡන්ද පත්රිකාවෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයක්ද ඇලස්කා ශ්රේෂ්ඨාධිකරණය විසින් නිෂේධ කර තිබිණි.















