ප්රබල ‘චම්පි’ (Champi) සුළි කුණාටුව තායිවානයේ උතුරු-නැගෙනහිර වෙරළ තීරය වෙත ළඟාවීම හේතුවෙන් නැගෙනහිර ආසියානු කලාපයේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර තිබේ. සුළි කුණාටුවේ දැඩි බලපෑම නිසා තායිවානයේ පාසල්, රජයේ කාර්යාල සහ ඩොලර් ට්රිලියන 5ක වටිනාකමකින් යුත් කොටස් වෙළඳපොළ පසුගිය සිකුරාදා (23) සම්පූර්ණයෙන්ම වසා දමන ලදී. රළ පහරකට හසුවී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයින් 171 දෙනෙකු තුවාල ලබා 1,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.
පැයට කිලෝමීටර 191ක පමණ වේගවත් සුළං ප්රවාහයක් සමඟ ගමන් කරන මෙම කුණාටුව හේතුවෙන් ඉදිරි දිනවලදී සෙන්ටිමීටර 90කට (අඟල් 35කට) අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් අපේක්ෂා කෙරේ. මෙම සතියේ මුල් භාගයේදී ලොව බලවත්ම කුණාටුව ලෙස වාර්තා වූ චැම්පි සුළි කුණාටුව, පැසිෆික් සාගරයේ උණුසුම ඉහළ නංවන ලද බලවත් ‘සුපර් එල් නිනෝ’ (Super El Niño) තත්ත්වය හේතුවෙන් තීව්ර වී ඇති බව කාලගුණ විද්යා අංශ පෙන්වා දෙයි.
මෙම කුණාටුවේ බලපෑම තායිවානයට පමණක් සීමා වී නැති අතර, ජපානයේ ඔකිනාවා ප්රාන්තයේ නිවාස 8,400කට වැඩි ප්රමාණයක විදුලිය විසන්ධි වී ඇති අතර ජපන් ගුවන් සේවා කිහිපයක ගුවන් ගමන් 160කට වැඩි ප්රමාණයක් අවලංගු කර ඇත. එසේම පිලිපීනයේ බැටැනස් (Batanes) දූපත් වෙතද මෙම කුණාටුවෙන් දැඩි වැසි සහ සුළං තත්ත්වයක් ඇති වී තිබේ. තායිවානයෙන් සහ ඔකිනාවා දූපත්වලින් පසු මෙම කුණාටුව චීනයේ නැගෙනහිර වෙරළ තීරය අසලින් ගමන් කර ජපානයේ ප්රධාන දූපත් වෙත ගමන් කරනු ඇති බව කාලගුණ අංශ අනතුරු අඟවයි.















