ඉරානය ආර්ථික වශයෙන් තනි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් දැඩි කරමින්, ඉරානය සමග මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යනු ලබන චීන බැංකු ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීමට නියමිත බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කරයි.
ඕවල් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, චීන බැංකුවලට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් තමන් තවමත් අවසාන තීරණය ප්‍රකාශ කර නොමැති බවයි. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) සඳහන් කර සිටියේ, දැඩි ආර්ථික සම්බාධක මගින් ඉරාන රජය මූල්‍යමය වශයෙන් අඩපණ කිරීමට ඇමෙරිකාව පියවර ගන්නා අතර ඉරානය සමග වෙළඳ සබඳතා පවත්වන රටවලට ද්විතීයික සම්බාධක (Secondary Sanctions) පැනවීමට ද ඉඩ ඇති බවයි. ඉරාන තෙල් සඳහා ප්‍රධානතම වෙළඳපොළක් වන චීනයේ ප්‍රධාන පෙළේ බැංකුවලට එරෙහිව මෙතෙක් සෘජු සම්බාධක පනවා නොමැති අතර, එවැනි පියවරක් ගතහොත් එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.














