ලොව බලවත්ම රාජ්‍යයේ හිටපු ඉහළම ආරක්ෂක ප්‍රධානියෙකු සහ වත්මන් ජනාධිපතිවරයා අතර පවතින දීර්ඝකාලීන දේශපාලන වෛරය, අද (29) අතිශය බිහිසුණු නීතිමය සටනක් දක්වා වර්ධනය වී තිබේ. හිටපු FBI අධ්‍යක්ෂ ජේම්ස් කෝමි විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහළ එක් ඡායාරූපයක් පාදක කරගනිමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිතයට තර්ජනය කළ බවට ඔහුට එරෙහිව බරපතළ අපරාධ චෝදනා ගොනු කර ඇත. ලෝකයේ අවධානය දිනාගත් මෙම නඩු පැවරීම හුදෙක් නීතිමය ක්‍රියාවලියකට එහා ගිය, ඇමෙරිකානු දේශපාලන පද්ධතියම උඩුයටිකුරු කළ හැකි මාරක ගැටුමක ආරම්භය බවට විචාරකයෝ අනතුරු අඟවති.
මෙම ආන්දෝලනාත්මක චෝදනාවට මුල් වී ඇත්තේ උතුරු කැරොලිනා වෙරළක තිබූ මුහුදු බෙල්ලන් කිහිප දෙනෙකුගෙන් “86 47” යන අංක නිර්මාණය කර තිබූ ඡායාරූපයකි. ඇමෙරිකානු ව්‍යවහාරයට අනුව “86” යනු යමෙකු ඉවත් කිරීම හෝ බැහැර කිරීම හැඳින්වීමට යොදාගන්නා අතර, “47” යනු ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා වන ට්‍රම්ප් ඉලක්ක කළ අංකයක් බවට වත්මන් පාලනාධිකාරිය චෝදනා කරයි. තමන් එහි අර්ථය නොදැන ඡායාරූපය පළ කළ බව කෝමි පැවසුවද, වත්මන් FBI අධ්‍යක්ෂ කාශ් පටෙල් අවධාරණය කරන්නේ හිටපු ප්‍රධානියෙකු ලෙස මෙහි බරපතළකම කෝමි මැනවින් දැන සිටි බවයි. චෝදනා දෙකකට වැරදිකරු වුවහොත් වසර 20ක සිර දඬුවමකට මුහුණ දීමට ඔහුට සිදුවනු ඇත.
නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නඩු පැවරීම ඉතා දුර්වල මෙන්ම දේශපාලනික දඩයමක ස්වරූපයක් ගන්නා බවයි. කෝමිගේ ක්‍රියාව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට වැටෙන බවත්, ඔහු තුළ ජනාධිපතිවරයාට හානි කිරීමේ චේතනාවක් තිබූ බව ඔප්පු කිරීම අසීරු බවත් බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී කෝමිව ධුරයෙන් නෙරපා හැරීමේ සිට ඇරඹි මෙම ගැටුම, දැන් ඇමෙරිකානු අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පවා ප්‍රශ්න කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත. ලෝකයේ බලවත්ම තනතුර සහ ලොව දක්ෂතම විමර්ශන නිලධාරියෙකු අතර සිදුවන මෙම “බෙල්ලන් සටන” අවසානයේ නතර වන්නේ කොතැනින්දැයි මුළු ලෝකයම බලා සිටියි.














