විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉල්ලීමක් කර තිබුණද, පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. මහා භාණ්ඩාගාරය විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම රජයේ මැදිහත්වීම හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාව පාරිභෝගිකයින්ගෙන් සියයට 95කට පමණ බල නොපානු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය වී තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙමින් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම ගාස්තු සංශෝධනය යෝජනා කර තිබුණි. ඔවුන් පෙන්වා දෙන්නේ දෙවන කාර්තුව සඳහා වූ මූල්‍ය හිඟය රුපියල් බිලියන 31 සිට රුපියල් බිලියන 38 දක්වා වැඩි වී ඇති බවයි. කෙසේ වෙතත්, රජය ලබාදෙන මෙම සහනාධාරය මගින් එම පිරිවැය පියවා ගැනීමටත්, සාමාන්‍ය ජනතාව මත පැටවෙන බර අවම කිරීමටත් අපේක්ෂා කෙරේ.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් උපදේශන පත්‍රිකාවක් නිකුත් කර ඇති අතර, ඒ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට ලබන මස 06 වනදා දක්වා අවස්ථාව පවතී. සියලු පාර්ශවයන්ගේ අදහස් සලකා බැලීමෙන් අනතුරුව, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ අවසන් තීරණය ලබන මස 09 වැනිදා නිවේදනය කිරීමට නියමිතය.












