ඇමෙරිකානු ජනතාවගේ නිවාස පිරිවැය අඩු කිරීම අරමුණු කරගනිමින් සකස් කළ ඓතිහාසික “21st Century ROAD to Housing Act” පනත් කෙටුම්පතට අත්සන් තැබීමේ උත්සවය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අන්තිම මොහොතේ අවලංගු කර තිබේ. දේශපාලන භේදයකින් තොරව ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සභා දෙකම (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය) ඉතා ඉහළ බහුතරයකින් මෙම පනත සම්මත කර තිබුණේ කලාතුරකින් දැකිය හැකි ද්විපාර්ශ්වික එකඟතාවක් ප්‍රදර්ශනය කරමිනි.
පනත නීතියක් බවට පත්වීමට පැය කිහිපයකට පෙර සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, දැඩි ඡන්දදායක හැඳුනුම්පත් සහ පුරවැසිභාවය තහවුරු කිරීමේ අවශ්‍යතා ඇතුළත් “SAVE AMERICA ACT” පනත සම්මත වන තෙක් තමා නිවාස පනතට අත්සන් නොකරන බවයි. ඔහු මෙම තත්ත්වය “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස ද හඳුන්වා දී ඇත. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මෙම පනත නිල වශයෙන් නිෂේධනය (Veto) නොකළහොත්, දින 10කට පසු එය ස්වයංක්‍රීයවම ඇමෙරිකාවේ නීතියක් බවට පත්වීමට නියමිතය.
















