හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක “Project Freedom” මෙහෙයුම සඳහා අමෙරිකාව හා එක්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවෙන් විවෘත ඉල්ලීමක් සිදු කර තිබේ. ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ, ඉරානය විසින් මෙම මෙහෙයුමට සෘජු සම්බන්ධයක් නොමැති සෙසු රටවලට අයත් වාණිජ නෞකා පවා ඉලක්ක කරමින් සිටින බවයි.
මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අනාවරණය කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරානයට අයත් වේගවත් ප්‍රහාරක යාත්‍රා (Fast boats) හතක් වෙඩි තබා විනාශ කිරීමට අමෙරිකානු නාවික හමුදාව සමත් වූ බවයි. එම ගැටුම්වලින් අමෙරිකානු පාර්ශවයට කිසිදු හානියක් සිදුව නොමැති බව ද ඔහු තහවුරු කළේය.
කලාපීය ආරක්ෂාව සහ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා මිත්‍ර රටවල සහය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ට්‍රම්ප්, දකුණු කොරියාව වැනි ශක්තිමත් පාර්ශවකරුවන් මෙම මෙහෙයුමට එක්වීම තීරණාත්මක වනු ඇති බව ද සිය සටහන මගින් සඳහන් කර ඇත.














