ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බ්‍රසීල මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනමය රුචිකත්වයක් තිබීමට අයිතියක් ඇති නමුත්, එරට අභ්‍යන්තර මැතිවරණ කටයුතුවලින් වහාම “අයින් වී සිටිය යුතු” බව බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inacio Lula da Silva) අනතුරු අඟවා තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා ලූලා නැවත වරක් ඉදිරිපත් වීමට නියමිත පසුබිමක මෙම ප්‍රකාශය සිදු කර ඇත. බ්‍රසීලයේ වත්මන් දේශපාලන තත්ත්වය “දරුණු සහ දේශපාලනික වශයෙන් අනාරක්ෂිත” මට්ටමක පවතින බවට ට්‍රම්ප් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපතිවරයා මෙම දැඩි ස්ථාවරය නිවේදනය කළේය.
මෙම රාජ්‍ය නායකයන් දෙදෙනාම ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ‘G7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින අතරතුර මෙලෙස එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. මෙවර මැතිවරණයේදී ලූලාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී ඇත්තේ, ට්‍රම්ප්ගේ සමීප හිතවතෙකු වන බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත් සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ (Flavio Bolsonaro) ය. 2022 මැතිවරණයෙන් පසු කුමන්ත්‍රණයක් දියත් කිරීමට උත්සාහ කිරීමේ වරදට හිටපු ජනාධිපති බොල්සොනාරෝ මේ වන විට නිවාස අඩස්සියේ පසුවේ.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ අනෙක් පුත්‍රයා වන එඩුවාඩෝ බොල්සොනාරෝ (Eduardo Bolsonaro) ට්‍රම්ප් පාලනාධිකාරිය හරහා තම පියාගේ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර තිබේ. කෙසේ වෙතත්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම අධිකරණ තීන්දුව බ්‍රසීල විපක්ෂය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දේශපාලන දඩයමක් බවයි. දේශපාලන ගැටලු විසඳිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මඟින් මිස මෙවැනි අධිකරණ තීන්දු මඟින් නොවන බව ඇමෙරිකාව වැඩිදුරටත් අවධාරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















