ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ පැතිර යන මාරාන්තික ඉබෝලා (Ebola) වෛරස් ව්‍යාප්තිය මැඩපැවැත්වීමට ක්‍රියාකරන සෞඛ්‍ය කණ්ඩායම්, දැඩි සේවක හිඟයකට සහ ප්‍රවාහන පහසුකම් නොමැතිකමට මුහුණ දී සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර මසක් ගතවී ඇතත්, ‘Bundibugyo’ නැමැති දුර්ලභ ඉබෝලා ප්‍රභේදය ආසාදනය වූවන් 800කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබේ.
අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානය (Africa CDC) පෙන්වා දෙන්නේ පවතින අනාරක්ෂිත වාතාවරණය සහ පහසුකම් හිඟය හේතුවෙන් ආසාදිතයන් ඇසුරු කළ දසදහස් සංඛ්‍යාත පිරිසක් හඳුනා ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි. වඩාත්ම බලපෑමට ලක්වූ පළාත්වල සැකකටයුතු රෝගීන්ගෙන් තුනෙන් එකකට පමණ කිසිදු සෞඛ්‍ය ප්‍රතිචාරයක් දැක්වීමට බලධාරීන්ට මෙතෙක් හැකි වී නොමැති අතර, ගිලන්රථ හිඟය නිසා රෝගීන් පැය ගණනාවක් මඟ බලා සිටින තත්ත්වයක් උදාවී ඇත.
වෛරසය මර්දනය සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE), මුඛ ආවරණ මෙන්ම රෝගීන් හුදෙකලා කරන වාට්ටු ඉදිකිරීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය පවා මේ වන විට දැඩි ලෙස හිඟ වී තිබේ. මෙම ප්‍රභේදය සඳහා මෙතෙක් ස්ථිර එන්නතක් නොමැති පසුබිමක, සෞඛ්‍ය සේවකයන් රැසකට ද වෛරසය ආසාදනය වී ඇත. වෛරස් මර්දන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 518ක අරමුදලෙන් මෙතෙක් ලැබී ඇත්තේ පහෙන් එකක් වැනි සුළු ප්‍රමාණයක් බැවින්, බටහිර රටවල් වහාම මේ සඳහා ආධාර සැපයිය යුතු බව අප්‍රිකානු සංගමය අවධාරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















