ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර අද (14) විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම මධ්‍ය පෙරදිග පවතින උණුසුම්කාරී වාතාවරණය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මෝදි සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේය. විශේෂයෙන්ම ලෝක තෙල් සැපයුමේ තීරණාත්මක මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘතව තැබීමේ සහ එහි ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම නායකයින් දෙපළ මෙහිදී අවධාරණය කර ඇත. ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් 40%ක් පමණ මෙම මුහුදු මාර්ගය හරහා සිදුවන බැවින් පවතින යුධමය තත්ත්වය හමුවේ එහි ආරක්ෂාව ඉන්දියාවට අතිශය තීරණාත්මක වී තිබේ.














