ඉරානය සාකච්ඡා මේසයට පැමිණ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත්, ලබන සතියේදී ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර පුළුල් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අනතුරු ඇඟවීය.
ජනාධිපතිවරයා පවසා සිටියේ, “ලබන සතිය ඔවුන්ට ඉතා නරක වනු ඇත. මන්ද, ලබන සතියේ විදුලි බලාගාර සහ පාලම් ඉලක්ක වනු ඇති බැවිනි. ඔවුන් සාකච්ඡා මේසයට පැමිණ ගිවිසුමකට නොඑළඹෙන්නේ නම්, අපි ඔවුන්ගේ සියලුම විදුලි බලාගාර සහ සියලුම පාලම් විනාශ කර දමනු ඇත.” යනුවෙනි.
අමෙරිකානු හමුදා අඛණ්ඩව සිව්වන දිනටත් ඉරානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන අතරතුර සහ එරට වරායන් වෙත නාවික අවහිර කිරීම් නැවත පනවා ඇති මොහොතක ජනාධිපති ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇත.
ජුනි 17 වන දින දෙරට අතර ඇති කරගත් බිඳෙනසුලු සටන් විරාම ගිවිසුම මේ වන විට මුළුමනින්ම බිඳ වැටී ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය පිළිබඳ ගැටුම ප්‍රධාන වී තිබේ. අමෙරිකානු ප්‍රහාර කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි විමසූ විට, “ප්‍රමාණවත් යැයි මම පවසන තුරු එම ප්‍රහාර අඛණ්ඩව සිදුවනු ඇත” යනුවෙන් ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.














