ඉරානය වෙත ගුවන් ආරක්ෂක පද්ධති සැපයීමට චීනය පියවර ගතහොත් බීජිං පාලනයට “විශාල ගැටලුවලට” (Big problems) මුහුණ දීමට සිදුවනු ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ඉරානය වෙත කර මත තබාගෙන යා හැකි ගුවන් ආරක්ෂක පද්ධති (MANPADS) සැපයීමට චීනය දැනටමත් පියවර ගනිමින් සිටින බවට ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇති බව වාර්තා වේ.
මෙම අනතුරු ඇඟවීම සිදු වන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී ඉරාන ගුවන් සීමාව තුළදී ඇමෙරිකානු F-15E වර්ගයේ ප්‍රහාරක යානයක් බිම හෙළීමෙන් පසුවය. එම යානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ කර මත තබා ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලයක් (Shoulder-fired missile) මගින් බවට විශ්වාස කෙරේ. චීනය විසින් මෙවැනි අවි ආයුධ ඉරානයට ලබා දීම හරහා මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වනු ඇති බවට ඇමෙරිකාව බිය පළ කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාව සහ මැදපෙරදිග කලාපීය බල අරගලය හමුවේ, චීනය සහ ඇමෙරිකාව අතර පවතින මෙම නවතම රාජ්‍යතාන්ත්‍රික ගැටුම ගෝලීය දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව තිබේ. චීනය ඉරානය සමඟ පවතින හමුදා සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් දෙරට අතර ආර්ථික සහ දේශපාලන සබඳතාවලට බරපතල හානි සිදුවිය හැකි බවට ට්‍රම්ප් පාලනය ඉඟි කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: fox news(x) ඇසුරින්














