ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) කටයුතු අඩපණ වීම හේතුවෙන් එරට ප්‍රවාහන ආරක්ෂක පරිපාලනයේ (TSA) නිලධාරීන් 1,000කට අධික පිරිසක් සේවයෙන් ඉවත් වී ඇති බව රජයේ වාර්තා සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි මැද භාගයේ සිට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රතිපාදන අනුමත නොවීම නිසා රජය අර්ධ වශයෙන් අකර්මන්‍ය (Shutdown) විය. මේ හේතුවෙන් 50,000ක් පමණ වන TSA සේවකයින්ට සති හයක පමණ කාලයක් වැටුප් නොමැතිව සේවය කිරීමට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන්තොටුපළ පරීක්ෂාවන් සඳහා පැය හතරකට වඩා වැඩි කාලයක් පෝලිම්වල රැඳී සිටීමට මගීන්ට සිදුවිය.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන දැඩි සංක්‍රමණික නීතිවලට විරෝධය පළ කරමින් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් අදාළ අරමුදල් අනුමත කිරීම ප්‍රමාද කිරීම මෙම අර්බුදයට මුල් වී තිබේ. මානව හිමිකම් ක්‍රියාධාරීන් පෙන්වා දෙන්නේ රජයේ මෙම දැඩි පිළිවෙත් හේතුවෙන් සුළු ජාතීන්ට අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි.
නිලධාරීන් මෙලෙස විශාල වශයෙන් ඉවත් වෙමින් පවතින පසුබිමක, ජනාධිපති ට්‍රම්ප් විසින් TSA මෙහෙයුම්වලින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකකරණය කිරීමට සහ සේවකයින් 10,000ක් පමණ කප්පාදු කිරීමට ද යෝජනා කර ඇත. ඇමෙරිකාවේ සෑම ගුවන්තොටුපළකම පාහේ ආරක්ෂක පරීක්ෂා කිරීම් සිදුකරනු ලබන්නේ මෙම ආයතනය මගින් බැවින්, මෙම ඉල්ලා අස්වීම් එරට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ආරක්ෂාවට සහ කාර්යක්ෂමතාවයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.














