ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝව සමඟ පැවැති තරගයේදී (එංගලන්තය 3-2ක් ලෙස ජයගත්) රතු කාඩ්පතක් ලැබූ එංගලන්ත ආරක්ෂක ක්‍රීඩක ජරෙල් ක්වන්සාට (Jarell Quansah) පැනවූ තරග තහනම ඉවත් කරගැනීමට, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උදව් ලබාගත හැකි බව පවසමින් එංගලන්ත කළමනාකරු තෝමස් ටුචෙල් (Thomas Tuchel) උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ බොස්නියා සහ හර්සගොවිනා සමඟ තරගයේදී රතු කාඩ්පතක් ලැබූ ඇමරිකානු ඉදිරිපෙළ ක්‍රීඩක ෆොලරින් බැලෝගන්ට (Folarin Balogun) බෙල්ජියම සමඟ තරගයට ක්‍රීඩා කිරීමට හැකිවන පරිදි, ඔහුගේ එක් තරග තහනම ඉවත් කිරීමට FIFA ආයතනය පියවර ගැනීමත් සමඟයි. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම තහනම ඉවත් කර ඇති බවට වාර්තා පළවීමත් සමඟ ක්‍රීඩා ලෝකයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
විනිසුරුවන් සහ VAR තාක්ෂණය මඟින් තීරණය කළ රතු කාඩ්පත් දේශපාලන මැදිහත්වීම් මත වෙනස් කරන්නේ කුමන පදනමකින්දැයි ටුචෙල් ප්‍රශ්න කර සිටී. එංගලන්ත නායක හැරී කේන්ට ද සිය ක්‍රීඩකයා වෙනුවෙන් ට්‍රම්ප්ගේ සහය පැතිය හැකිදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ටුචෙල් විහිළුවෙන් පවසා සිටියේ “සමහරවිට, එය හොඳ ආරම්භයක් විය හැකියි” යනුවෙනි. මේ වනවිට ක්වන්සාට නෝර්වේ රාජ්‍යය සමඟ පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය අහිමි වී තිබේ.
















