මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකි.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගැටුම නිසා තවත් බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. බන්ධනාගාරයේ කටයුතු අකර්මණ්‍ය කිරීමේ අරමුණින් රැඳවියන් විසින් එහි තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍ර සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අතර, ගැටුමට මුල් වූ රැඳවියන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අඟුණුකොළපැලැස්ස සහ වැලිකඩ බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.
පොලීසියට අනුව ඊයේ (05) රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් සහ දඬුවම් ලැබූ රැඳවියන් දෙපිරිසක් අතර ආරම්භ වූ මෙම ගැටුම අද උදෑසන වනවිට යළි නොසන්සුන් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. මේ වනවිට තත්ත්වය යම්තාක් දුරකට පාලනය කර ඇති බවත්, මෙය නිලධාරීන් සමඟ ඇති වූවක් නොව කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් බවත් පැවසූ අමාත්‍යවරයා, සිදු වූ මෙම ඛේදවාචකය පිළිබඳව රජය දැඩි කම්පනයට පත්ව සිටින බව ද අවධාරණය කළේය.
















