කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ පොදු වැසිකිළියක් අසල අතහැර දමා ගොස් සිටි 10 හැවිරිදි දැරියක සහ 9 හැවිරිදි පිරිමි දරුවෙකු වේල්ල වීදිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම සංවේදී පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු මෙසේය:
පසුගිය 19 වැනිදා සවස ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක විසින් මෙම දරුවන් දෙදෙනා පොදු වැසිකිළිය අසල අතහැර දමා ගොස් ඇත. තමන් රැකියාවක් සඳහා විදේශගත වන බව පවසා එම කාන්තාව දරුවන් අතහැර ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම දරුවන්ගේ පියා සහ මව යන දෙදෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බව පොලිසිය පවසයි. දරුවන් රැකබලා ගත් බව කියන ඥාති කාන්තාව දරුවන් පාරට ඇද දමා ඇත්තේ එවන් පසුබිමකය.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත වේල්ල වීදිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. දරුවන්ගේ වෙනත් ඥාතීන් සොයා ගැනීමට පොලිසිය උත්සාහ කළ ද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.














