27 April 2024
#දේශීය

අස්ථානගතව තිබු ඒ.ටී.එම් බැංකු කාඩ්පතකින් භාණ්ඩ මිලදී ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරිඳට අයත් ඒ.ටී.එම් බැංකු කාඩ්පතක් වැටී තිබී අහුලා එම කාඩ්පත උපයෝගී කර ගෙන එක් දිනකදී, අවස්ථා තුනකදී රුපියල් අසූ නව දහසක භාණ්ඩ මිලදී ගත් පුද්ගලයකු හා ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

තමාට අයත් ජාතික ඉතිරි කිරීමේ බැංකු කාඩ්පත සොරා ගෙන, කිසියම් පුද්ගලයකු විසින් ගණුදෙනු සිදු කර ඇති බවට එප්පාවල අංක 03 , ගම්මානයේ පදිංචි විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරිඳ විසින් එප්පාවල පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත එප්පාවල පොලිස් ස්ථාන‌යේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති එස්.ඩබ්ලිව්.ටී.ආර් ජයම්පති මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල්වල සී.සී.ටී.වී පරීක්ෂා කර සැකකරු පැමිණි යතුරු පැදිය හදුනාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු බස් රථ රියදුරකු වන බවත්, ඔහුට නීත්‍යාණූකූල බිරිඳට අමතරව එප්පාවල, ගෝණපතිරාව, ගන්තිරියාගම, ඉපලෝගම, කැකිරාව ප්‍රදේශ වල අනියම් බිරින්දෑවරුන් පස්දෙනෙකුද සිටින බවටද මෙම පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.සැකකරු පැමිණි යතුරු පැදිය කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති අතර, ඒ ඔස්ස‌ේ පරික්ෂණ සිදු කිරීමේදී මෙම අනියම් කාන්තාවන් පිළිබඳ තොරතුරුද අනාවරණය වී ඇත.

සැකකරු එප්පාවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි පුද්ගලයකු වන අතර, ඔහුගේ එක් අනියම් බිරිඳක සමඟ මෙලෙස පසුගිය 13 වැනිදා විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ බිරිඳගේ බැංකු කාඩ්පත එප්පාවල පිහිටි ජාතික ඉතිරි කිරීමේ බැංකුව අසල වැටී තිබී අහුලාගෙන එම ඒ.ටී.එම් කාඩ්පත භාවිතා කර එදිනම එප්පාවල, තඹුත්ත‌ේගම හා කැකිරාව යන ප්‍රදේශ තුනෙහි පිහිටි ස.තො.ස අලෙවිසැල් වලින් මොවුන් රුපියල් අසූ නව දහසක භාණ්ඩ මිලදී ගෙන ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

ඒ.ටී.එම් කාඩ්පත හිමි විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ බිරිඳ පසුගිය 15 වැනි දින ජාතික ඉතිරි කිරීමෙ බැංකුවේ ඒ.ටී.එම් කවුලුව වෙත ගොස් මුදල් ලබා ගැනීම සඳහා ඒ.ටී.එම් කාඩ්පත තම මුදල් පසුම්බියේ නොමැති බවට තහවුරු වී තම ඒ.ටී.එම් කාඩ්පත අස්ථානගත වී ඇති බවට බැංකුවට පැමිණිලි කිරීමට යාමේදී එම ඒ.ටී.එම් කාඩ්පත හරහා කිසිවකු ගණුදෙනු කර ඇති බවට තහවුරු වී ඇත. විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ විශ්‍රාම වැටුප් ඇතුළුව රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් එම ඒ.ටී.එම් කාඩ්පත් ගිණුමේ තිබී ඇති අතර, ඉන් රුපියල් අසූ නව දහසක ගණුදෙනු සිදු වී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ බිරිඳ පසුගිය 16 වැනි දා එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව පරීක්ෂණ සිදු කර එදින පස්වරුවේම සැකකරු හා අනියම් බිරිද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා අනියම් බිරිඳ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *