මැදපෙරදිග කලාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපයේ ගුවන් අවකාශයන් වසා දැමීම නිසා අහසේ සිරවී සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා දෙකක් අද (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත සුරක්ෂිතව පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසන පරිදි, කටුනායකින් පිටත්ව ගිය යූ.එල්.- 229 (කුවේට් බලා) සහ යූ.එල්.- 253 (දමාම් බලා) යන ඒ.-321 නියෝ වර්ගයේ යානා දෙක මෙසේ අසීරුතාවයට පත්ව තිබුණි. ඉරානය විසින් කලාපය වෙත එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් නිසා කුවේට් සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීම හේතුවෙන්, ඉන්ධන ප්‍රමාණවත් නොවීම මත ආපසු හැරීමට නොහැකිව මෙම යානා ද්විත්වය පැය 01යි විනාඩි 10ක කාලයක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණි.
පසුව අදාළ ගුවන් අවකාශයන් විවෘත කිරීමත් සමඟ ගුවන් නියමුවන් එම යානා සුරක්ෂිතව ගොඩබැස්වීමටත්, පසුව යළි කටුනායක වෙත රැගෙන ඒමටත් සමත් විය. මෙම යුදමය තත්ත්වය හේතුවෙන් තවත් විදේශීය ගුවන් යානා රැසක් එම කලාපයේ අහසේ රැඳී සිටි බව වාර්තා වේ.
















