මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලිසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරින් පිටුවහල් කිරීමෙන් පසු අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අශෝකපුර, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක සහ කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර යන අයයි.
ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සහ ඒවා පුපුරා යන ආකාරය දැක්වෙන දර්ශන තම ජංගම දුරකථනවල ගබඩා කරගෙන සිටීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ මගින් මොවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිට පසුව මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත. අද උදෑසන 10.15ට ඉටිහාඩ් ගුවන් සේවයට අයත් EY-392 දරන ගුවන්යානයෙන් කටුනායකට පැමිණි මෙම සැකකරුවන්ගෙන් CID නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බන්ධුල දිසානායක නැමැත්තා මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනා ලැබූවෙකු වන අතර, “පරෙවි සුදා” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන හර්ෂ කුමාර නැමැත්තා මීට පෙර බූස්ස බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමකට ද සම්බන්ධ අයෙකි. මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බන්ධුල දිසානායක කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) වෙතත්, හර්ෂ කුමාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙතත් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ යොමු කර ඇත.
















