එක්සත් ජනපද – ඊශ්‍රායල යුද ගැටුම් මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් ඉරානය වෙත රහසිගත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත උපුටා දක්වමින් වාර්තා වන්නේ ඉරානයේ ලවන් දූපතේ පිහිටි තෙල් පිරිපහදුවක් ඉලක්ක කර ගනිමින් අප්‍රේල් මස මුලදී මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. අදාළ ප්‍රහාරය හේතුවෙන් එම පිරිපහදුව තුළ දැවැන්ත ගින්නක් හටගෙන ඇති අතර එහි මෙහෙයුම් කටයුතු මුළුමනින්ම ඇනහිට ඇති බවත්, එම අවස්ථාව වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට සූදානමින් සිටි බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටය වෙත බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරානය විසින් වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් එල්ල කර ඇත්තේ එමීර් රාජ්‍යයට බව ද සඳහන්. මෙම තත්ත්වය එමීර් රාජ්‍යයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඉරානය තම රටේ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය අඩපණ කිරීමට උත්සාහ කරන රාජ්‍යයක් ලෙස ඔවුන් දැන් සලකනු ලබනවා. මෙම සෘජු ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශය සෘජු අදහස් දැක්වීමක් සිදු කර නැතත්, සතුරු ක්‍රියාවන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට තමන්ට අයිතියක් ඇති බව මීට පෙර නිවේදනය කර තිබුණා. දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ගල්ෆ් කලාපීය අරාබි රටක් සෘජුවම ඉරානයට ප්‍රහාර එල්ල කිරීම කලාපීය දේශපාලන සමතුලිතතාවය වෙනස් කිරීමටත්, සාමය වෙනුවෙන් මැදිහත් වන සෙසු අරාබි රටවල් සහ එමීර් රාජ්‍යය අතර පරතරයක් නිර්මාණය කිරීමට ඉරානය උත්සාහ කරනු ඇති බවත්ය.













