රාජ්‍ය නිලධාරීන් තුළ අනියම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, නීතියේ රාමුව තුළ රාජකාරි සිදුකිරීමේදී කිසිදු නිලධාරියෙකු බිය විය යුතු නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, අතීතයේ පැවති දේශපාලන බලය හෝ ධනය මත නීතිය ඉටු නොවන සංස්කෘතිය වෙනස් කිරීමට රජය කැපවී සිටින බවයි. නීතියට යටත් නොවන කිසිවෙකු සිටිය නොහැකි බවත්, ඕනෑම පරීක්ෂණයකදී සාක්ෂි ලබා ගැනීම හෝ කටඋත්තර ලබා ගැනීම මහා ව්‍යසනයක් ලෙස හුවා දැක්වීමට දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කළ යුතු බවත් ඔහු එහිදී පෙන්වා දුන්නා.
නීතිය ක්‍රියාත්මක කිරීම යනු රාජ්‍ය සේවය බිය ගැන්වීමක් නොවන බවත්, වෛරයෙන් හෝ පළිගැනීමේ චේතනාවෙන් තොරව නීතිය සාධාරණව ක්‍රියාත්මක වන බවටත් ජනාධිපතිවරයා සහතික වුණා. රාජකාරි කිරීමේදී පවතින යම් නීති රෙගුලාසි බාධාවක් වන්නේ නම් ඒවා සාකච්ඡා කර වෙනස් කිරීමට රජය සූදානම් බවත්, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කාර්යක්ෂමව වැඩ කරන ලෙසත් ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර පවතින ආපදා තත්ත්වය හමුවේ සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර වියදම් සීමාවන් ලිහිල් කරගෙන ඇති බවත්, ඒ අනුව තවත් රුපියල් බිලියන 500ක පමණ අතිරේක ප්‍රතිපාදන ව්‍යවසන කළමනාකරණය සඳහා යෙදවීමට එකඟතාව පළ වී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළා.














