උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඇතින්නක මියයාමේ සිද්ධිය වෙඩි තැබීමක් බවත්, වනජීවී නිලධාරීන් එය අලි ප්‍රහාරයකින් සිදු වූවක් බව පවසමින් සත්‍යය වසන් කිරීමට උත්සාහ කරන බවත් ප්‍රකට පරිසරවේදී නයනක රන්වැල්ල මහතා චෝදනා කරයි. උඩවලව වනෝද්‍යානයේ කොටා පාර, සියඹලාගහ ආසන්න ප්‍රදේශයේදී මියගොස් සිටි ඇතින්නකගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.
වනෝද්‍යානය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් විසින් මෙම ඇතින්නගේ මළසිරුර ප්‍රථමයෙන් දැක ඇති අතර, එහි පැහැදිලි වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබෙන බව රන්වැල්ල මහතා පෙන්වා දෙයි. වනජීවී නිලධාරීන් මෙය අලි සටනක් නිසා සිදු වූ මරණයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ මතයක් ප්‍රචාරය කිරීමට උත්සාහ කළ ද, එම ස්ථානයේ අලි සටනකදී දැකිය හැකි කිසිදු සලකුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය. මෙම ඝාතනය සඳහා ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කර ඇති බවට සැක කරන අතර, සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරන ලද මෙම අපරාධය වසන් කර ඝාතකයන් බේරා ගැනීමට ඇතැම් නිලධාරීන් උත්සාහ කරන බවට ද ඔහු සැක පළ කරයි.
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියේ මුල්ගල් විශේෂයක් වන අලියෙකු තම ජීවිත කාලය තුළ මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන දෙකකට අධික දායකත්වයක් ලබා දෙන බව පෙන්වා දුන් රන්වැල්ල මහතා, වසරකට අලි 450ත් 600ත් අතර ප්‍රමාණයක් මියයාම ජාතික අපරාධයක් බව සඳහන් කළේය. මෙම ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් පවත්වනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෙනත් රාජ්‍ය ආයතනවල පශු වෛද්‍යවරුන් සහ ස්වාධීන නිරීක්ෂකයන් සම්බන්ධ කරගත යුතු බවට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
















