ලෝක පාපන්දු සම්මේලනය (FIFA) විසින් සිය තරගාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයින්ට අලෙවි කිරීමට ගෙන ඇති මතභේදාත්මක සැලසුම්වලට එරෙහිව, යුරෝපීය පාපන්දු සංගමයේ (UEFA) සාමාජික රටවල් 55ක් ඒකමතිකව විරෝධය පළ කර තිබේ.
මෙම පෞද්ගලීකරණ සැලසුම වහාම අත්නොහැරියහොත් ඉදිරි ලෝක කුසලාන ඇතුළු සියලුම තරගාවලි වර්ජනය කරන බවටයි UEFA සාමාජික සංගම් දැඩි තීරණයකට එළඹ ඇත්තේ. හදිසියේ කැඳවන ලද මාර්ගගත (Online) සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, පාපන්දු ක්‍රීඩාවේ පරමාධිපත්‍යය සහ උරුමය පෞද්ගලික ආයෝජකයින් සතු වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බව UEFA නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ විසින් ඩොලර් බිලියන 20ක අගයකින් යුත් අලුත් අනුබද්ධ සමාගමක් පිහිටුවා එහි 20%ක කොටස් පෞද්ගලික ආයෝජකයින්ට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ අතර, ඊට සහාය දක්වන සංගම් සඳහා ඩොලර් මිලියන 20ක මුදලක් ලබා දෙන බවද ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත්, එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ජර්මනිය ඇතුළු යුරෝපීය බලවත් රටවල් සියල්ලම එකහෙළා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.














