ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස පීටර් මැන්ඩෙල්සන් (Peter Mandelson) පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් (Keir Starmer) අද (අප්‍රේල් 20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සමඟ පැවැති සබඳතා අනාවරණය වීමෙන් පසු මැන්ඩෙල්සන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එම ධුරයෙන් ඉවත් කර තිබුණි.
72 හැවිරිදි පීටර් මැන්ඩෙල්සන් තානාපති ධුරයට පත් කිරීමට පෙර අත්‍යවශ්‍ය ආරක්ෂක පරීක්ෂණයකින් (security vetting) අසමත් වී ඇති බවට අලුතින් අනාවරණය වූ කරුණු සමඟ අගමැතිවරයාට එල්ල වන විවේචන දැඩි වී තිබේ. මෙම ආරක්ෂක පරීක්ෂණය අසමත් වීම පිළිබඳව තමන්ට කලින් දැනුම් නොදීම “සමා කළ නොහැකි වරදක්” බව අගමැති ස්ටාමර් පිළිගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට විරුද්ධ පක්ෂවලින් බලපෑම් එල්ල වෙමින් පවතී.
මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු වන ඔලී රොබින්ස් (Olly Robbins) වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ. ඔහු හෙට (21) පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සාක්ෂි දීමට නියමිත අතර එහිදී රජය මෙම පත්වීම හැසිරවූ ආකාරය පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














