වසර හතරකට වැඩි කාලයක් තිස්සේ පවතින රුසියානු – යුක්රේන යුද්ධය එරට ස්වභාවික පරිසරයට සහ සතුන්ට සිදුකර ඇති බලපෑම පිළිබඳව අපූරු සාක්ෂියක් යුක්රේනයේ ඉදිරි පෙළ යුද මුන්නාදයෙන් සොයාගෙන තිබේ. ඒ, යුද බිමේ විසිරී ඇති ෆයිබර් ඔප්ටික් කේබල් සහ තණකොළ එකතු කර කුඩා කුරුල්ලන් විසින් නිමවන ලද අමුතුම ආකාරයේ කුරුළු කූඩු කිහිපයකි.
යුක්රේනය සහ රුසියාව අතර පවතින කිලෝමීටර් 1,200ක පමණ යුද පෙරමුණ පුරා, ඩ්‍රෝන යානා පාලනය කිරීම සඳහා දෙපාර්ශවයම භාවිත කරන ෆයිබර් ඔප්ටික් කේබල් විශාල ප්‍රමාණයක් කෙත්වතු, ගස් හා ගොඩනැගිලි මත විසිරී පවතී. ඉවත දමා ඇති මෙම කේබල් භාවිත කරමින් කුරුල්ලන් කූඩු තැනීමට පටන්ගෙන ඇති බව කියෙව්හි යුධ කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක යානා හ්‍රින්කෝ මහත්මිය තහවුරු කළාය. යුක්රේන හමුදාව විසින් ඉදිරි පෙළෙන් සොයාගත් එවැනි කූඩු දෙකක් මේ වන විට කෞතුකාගාරයේ විශේෂ අධ්‍යයනයට ලක් කර ඇත.
පර්යේෂකයන් පවසන්නේ මෙවැනි කූඩු යුද්ධයේ ස්වභාවය සහ එය පරිසරයට සිදුකරන බලපෑම පිළිබිඹු කරන සුවිශේෂී සාක්ෂියක් වන බවයි. කෙසේ වෙතත්, මෙම කූඩු නිර්මාණය කළේ කුමන පක්ෂි විශේෂයක්ද යන්න තවමත් තහවුරු වී නොමැති අතර, ඒ සඳහා මේ වන විට DNA පරීක්ෂණ පවා සිදු කෙරෙමින් පවතී.
කෘතිම කූඩු ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ ලන්දේසි ජීව විද්‍යාඥ ඔක්-ෆ්ලෝරියන් හයිම්ස්ට්‍රා පවසන්නේ, ෆයිබර් ඔප්ටික් කේබල් කුරුල්ලන්ට ශක්තිමත් කූඩු තැනීමට උපකාරී විය හැකි නමුත්, එම කේබල්වල කුරුල්ලන් සහ පැටවුන් පැටලීමේ දැඩි අවදානමක් ද පවතින බවයි.
හමුවූ කූඩු දෙකෙන් එකක් කියෙව්හි යුධ කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා තබා ගැනීමට නියමිත අතර, අනෙක් කූඩුව වැඩිදුර විද්‍යාත්මක පර්යේෂණ සඳහා නෙදර්ලන්තයට යවා නැවත යුක්රේනයට රැගෙන ඒමට පර්යේෂකයෝ සැලසුම් කරති.
















