උලපනේ රණවිරු ගම්මානයේ ඉහළ කොටස සහ සාර්ක් ගම්මානය ආශ්‍රිතව දැනට දින කිහිපයක සිට රජයන අභිරහස් සහ භීතිකාකාරී වාතාවරණය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසහනයට පත්ව සිටිති.
රාත්‍රී කාලයේ, පාන්දර සහ සවස් වරුවේ ක්‍රියාත්මක වන සන්දර්භයක් තුළ, පිරිමින් නොමැති, කාන්තාවන් සහ ගැහැණු දරුවන් පමණක් සිටින නිවාස ඉලක්ක කරගනිමින් යම් පුද්ගලයෙකු සැරිසරන බවට වාර්තා වේ. මොහු අදාළ නිවෙස්වල දොරවල්වලට තට්ටු කරමින්, ජනේලවලට හා මල්පෝච්චිවලට හානි සිදුකරමින් පලායන අතර, පාළු හා කැලෑබද ප්‍රදේශ ඔස්සේ පැමිණෙන බව කාන්තාවන් කිහිපදෙනෙකුම දැක තිබේ.
එමෙන්ම, අදාළ පුද්ගලයා ගැහැණු දරුවන්ට විවිධ දේ පෙන්වමින් අතවනන බවටද, එක් පිරිමි දරුවෙකු පාන්දර කාලයේ කඩුවක් අතැතිව මොහු නිවස අසල සැරිසරනු දැක ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
ගම්වාසීන් එකතු වී පාන්දර වන තෙක් සෙවීම් කටයුතු සිදුකළද මෙතෙක් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත. මේ පිළිබඳව ඇත්ගාල පොලීසියට සහ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කර ඇති අතර, ඇත්ගාල පොලිස් නිලධාරීන් රාත්‍රී කාලයේ පැමිණ සෙවුම් මෙහෙයුම් දියත් කළද සැකකරු මෙතෙක් හමුවී නොමැත.
මෙම අභිරහස් තත්ත්වය හේතුවෙන් තම බිරිඳන් සහ දරුවන් නිවෙස්වල තනි කර රැකියාවලට යාමට නොහැකිව ප්‍රදේශයේ පිරිමි පාර්ශ්වය දැඩි අපහසුතාවයකට මෙන්ම දැඩි බියකට පත්ව සිටිති.















