මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පළිගැනීම් සිදුකරන බවට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය දැඩි කණස්සල්ල පළ කර තිබේ. එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඝාතනයට ලක්වූ සහ තුවාල ලැබූ රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිද්ධිය සම්බන්ධයෙන් සත්‍යය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් පවතින බවයි.
ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරයට අදාළව පවතින දීර්ඝකාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාලසීමාවන්, අධික තදබදය සහ ප්‍රමාණවත් නොවන පහසුකම් වැනි ව්‍යුහාත්මක ගැටලුවලට කඩිනම් විසඳුම් අවශ්‍ය බව එම නිවේදනය හරහා අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් රඳවා සිටින අතර, ඔවුන්ගෙන් බහුතරයකට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රතිචාරයන්ගේ අවශ්‍යතාවය පවතින බවද එහි සඳහන් වේ. මෙම සිදුවීම් සම්බන්ධයෙන් බලධාරීන් පොරොන්දු වී ඇති පරිදි කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන පවත්වන ලෙස ඉල්ලා සිටින අතර, මීගමුව බන්ධනාගාරය ඇතුළු අනෙකුත් බන්ධනාගාරවලට, විශේෂයෙන්ම වධහිංසාවට ලක්වූ බවට වාර්තා වන ස්ථාන වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර ලබා දෙන ලෙස ද එම කාර්යාලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















