මැදපෙරදිග කලාපයේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් උද්ධමන පීඩනය යළිත් ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව දැඩි වීම මුල් කරගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් 2026 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාවන් පහළ දමා තිබේ. එක්සත් ජාතීන්ගේ “World Economic Situation and Prospects” මධ්‍ය වාර්ෂික යාවත්කාලීන වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, 2026 වසර සඳහා ගෝලීය දළ දේශීය නිෂ්පාදන (GDP) වර්ධනය 2.5%ක් ලෙස පුරෝකථනය කර ඇති අතර, එය 2025 වසරේ ඇස්තමේන්තුගත 3.0%ක වර්ධනයට වඩා මෙන්ම ඉකුත් ජනවාරි මාසයේ කළ පුරෝකථනයට වඩා ද 0.2%ක සලකා බැලිය යුතු මන්දගාමී වීමකි. කෙසේ වෙතත්, 2027 වසරේදී ගෝලීය ආර්ථිකය 2.8%ක මට්ටමක් දක්වා සුළු ප්‍රකෘතියක් පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් වෙළෙඳ ආයෝජන සහ ස්ථාවර පාරිභෝගික ඉල්ලුම ආර්ථිකයට යම් සහායක් දුන්න ද, සමස්ත ගෝලීය ආර්ථික දැක්ම තවදුරටත් දුර්වල වෙමින් පවතින බව එහි අවධාරණය කර ඇත.
ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ආහාර මිල තවදුරටත් ඉහළ යා හැකි බවට වාර්තාව අනතුරු අඟවයි. ඒ අනුව සංවර්ධිත රටවල උද්ධමනය 2.9% දක්වාත්, සංවර්ධනය වෙමින් පවතින රටවල එය 5.2% දක්වාත් ඉහළ යා හැකිය. අර්බුද හේතුවෙන් බටහිර ආසියාවේ ආර්ථික වර්ධනය 3.6% සිට 1.4% දක්වා දරුණු ලෙස කඩා වැටී ඇති අතර, යුරෝපා සංගමයේ වර්ධනය 1.1% දක්වාත්, බ්‍රිතාන්‍යයේ වර්ධනය 0.7% දක්වාත් පහළ යනු ඇත. ශක්තිමත් දේශීය ඉල්ලුම මත ඇමෙරිකාව 2.0%ක ස්ථාවරත්වයක් පෙන්වන විට, චීනය 4.6%කට ද, ඉන්දියාව 6.4%කට ද සහ අප්‍රිකානු කලාපය 3.9%ක සාමාන්‍ය වර්ධනයක් දක්වා ද මන්දගාමී වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරයි.
















