ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව දියත් කර ඇති දැඩි යුධමය වාතාවරණය හේතුවෙන් මුළු මහත් ලෝක ආර්ථිකයටම එල්ල වී ඇති අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වූ ඉදිරි පුරෝකථන තවදුරටත් පහත හෙළීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (UN DESA) විසින් නිකුත් කරන ලද නවතම මූල්‍ය වාර්තාව මඟින් මේ බව නිල වශයෙන් අනාවරණය කර ඇත.
මෙම ගෝලීය ආර්ථික පසුබෑම සහ මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් 2026 වසරේදී සමස්ත ලෝක ආර්ථික වර්ධන වේගය සියයට 2.5 ක් වැනි අවම මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2027 වසරේදී එය සියයට 2.8 ක් වනු ඇතැයි දළ වශයෙන් පුරෝකථනය කර තිබේ. පවතින දේශපාලන අස්ථාවරත්වය, බලශක්ති අර්බුදය සහ ලෝක වෙළඳපොළේ සැපයුම් දාමයන් බිඳවැටීම වැනි සාධක ඉදිරියේදී ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවලට ද දැඩි මරු පහරක් එල්ල කරනු ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් අනතුරු අඟවයි.














