ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ වීසා ආයතනය එක්ව වතු ප්‍රජාවන්හි කාන්තාවන් සහ තරුණයන් අතර මූල්‍ය ඇතුළත් කිරීම් සහ ආර්ථික සවිබල ගැන්වීම් ශක්තිමත් කිරීම සඳහා නව හවුල්කාරීත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නුවරඑළිය හේවාවැටිය හෝප් වතුයායෙන් මූලික අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කෙරේ.
මෙම හවුල්කාරීත්වය සනිටුහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා සහ වීසා ආයතනයේ රටේ කළමනාකරු අවන්ති කොළඹගේ යන මහත්මියන්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබීමේ උත්සවයක් පවත්වන ලදී. මෙමගින් තරුණ කෘෂි නිෂ්පාදකයින් 50 දෙනෙකුට, විශේෂයෙන්ම කාන්තාවන්ට, මූල්‍ය සාක්ෂරතාව ඉහළ නංවා ගැනීමටත්, විධිමත් මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශය පුළුල් කර ගැනීමටත්, ඩිජිටල් මූල්‍ය පද්ධතීන්ට දායක වීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා ගොඩනගා ගැනීමටත් සහයෝගය ලැබෙනු ඇත.
වැටුප් ලබන ශ්‍රමයට පමණක් සීමා වී තිබූ වතුකරයේ ආර්ථික අවස්ථා, පොලිතනල් වගාව සහ ගෙවතු වගාව වැනි නව ජීවනෝපාය මාර්ග සමඟ මූල්‍ය ඇතුළත් කිරීම් සෘජුව සම්බන්ධ කිරීම මෙහි අරමුණ වී තිබේ. මූල්‍ය සාක්ෂරතාව, ඩිජිටල් ගෙවීම් සහ යහපත් කෘෂිකාර්මික පුරුදු පිළිබඳ ඒකාබද්ධ පුහුණුවක් ලබාදීමට නියමිත අතර, බැංකු ගිණුම් ආරක්‍ෂිතව භාවිත කිරීමට සහ ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීමට සහයෝගය ලබාදෙන බව දෙපාර්ශ්වයම පෙන්වා දී ඇත.














