ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සමඟ සහයෝගීතාව ශක්තිමත් කරමින්, දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල් නගර සහ යහපාලනය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට චීනය සිය කැමැත්ත පළ කර තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 105 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති උත්සවයකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි සෙන්හොං මහතා මේ බව සඳහන් කළේය. ස්වාධීනත්වය, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්ම මත පදනම්ව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ හුවමාරු තවදුරටත් ගැඹුරු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සූදානම් බව තානාපතිවරයා පැවසීය.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවැති සාර්ථක හමුව ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව සැලැස්මක් සකස් කර ඇති බවත්, එම නායකයින් දෙපළ අතර ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීමට සහ චීන-ශ්‍රී ලංකා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට චීනය බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ චීනය අත්කර ගත් සංවර්ධනය පෙන්වා දුන් තානාපතිවරයා, චීනය අන්ත දරිද්‍රතාවය තුරන් කර, සමාජ සුභසාධන ආවරණය පුළුල් කර, ප්‍රධාන තාක්ෂණික දියුණුවක් අත්කර ගනිමින් ලොව විශාලතම වෙළඳ ජාතිය ලෙස සිය ස්ථානය පවත්වා ගෙන ඇති බවත් සිහිපත් කළේය.
එක් තීරයක් – එක් මාවතක් (Belt and Road Initiative) සහ ජනාධිපති ෂී ජින්පින් විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන සහ ආරක්ෂක මුලපිරීම් හරහා ගෝලීය සංවර්ධනය, සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට චීනය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයින්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී විය.














