එක්සත් ජාතීන්ගේ කාන්තා ඒජන්සිය (U.N. Women) අද (17) ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව, ගාසා යුද්ධය පැවති කාලසීමාව තුළ දිනකට සාමාන්‍යයෙන් අවම වශයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් 47 දෙනෙකු මියගොස් තිබේ.
2023 ඔක්තෝබර් සිට 2025 දෙසැම්බර් දක්වා කාලය තුළ ගාසා තීරයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් 38,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. පෙර ගැටුම්වලට සාපේක්ෂව මෙම යුද්ධයේදී කාන්තාවන් සහ ගැහැණු ළමයින් මියයාමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී සෝෆියා කැල්ටෝර්ප් (Sofia Calltorp) ජිනීවා නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කළ සටන් විරාමයෙන් පසුව ද තවමත් කාන්තාවන් ඝාතනය වීම දිගින් දිගටම සිදුවන බවට එම නියෝජිතායතනය දැඩි කනස්සල්ල පළ කරයි. වසර දෙකක පූර්ණ යුද්ධයකින් පසු ඇති වූ මෙම සටන් විරාමය හමුවේ ගාසා තීරයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතින අතර, ඉතිරි පටු වෙරළබඩ තීරය හමාස් සංවිධානයේ පාලනය යටතේ පවතී.














