ඇමරිකානු වෙළෙඳපොළට ඇඟලුම් අපනයනය කරන ශ්‍රී ලංකීය නිෂ්පාදකයින් මේ වන විට ඇමරිකානු ගැනුම්කරුවන්ගේ දැඩි ලෙස කෙටි වූ ඇණවුම් කාලසීමාවන් සහ තීරුබදු ප්‍රතිපූරණ (Tariff refunds) වාසි කිසිවක් නොලැබීමේ ගැටලුව හමුවේ දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.
‘First Capital Stock Talk’ වැඩසටහනට එක්වෙමින් JAAF මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා මේ බව සඳහන් කළේය. ඇමරිකානු අධිකරණ තීන්දු හරහා එරට ප්‍රධාන පෙළේ සන්නාම වන Gap, Abercrombie & Fitch, PVH සහ Nike වැනි සමාගම් ඩොලර් බිලියනයකට අධික තීරුබදු මුදල් ප්‍රතිපූරණයක් (Refunds) ලබාගෙන තිබුණද, එම සැපයුම් සපයන ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලාවලට ඉන් කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් ලැබී නැති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මීට අමතරව, කලින් මාස 6ත් 8ත් අතර පැවති ඇමරිකානු ගැනුම්කරුවන්ගේ ඇණවුම් කාලසීමාවන් දැන් මාස 3 දක්වා තියුණු ලෙස පහළ වැටී ඇති බවත්, එය දේශීය නිෂ්පාදකයින්ට අනාගත ධාරිතාවන් සැලසුම් කරගැනීමට සහ අමුද්‍රව්‍ය කල්තියා මිලදී ගැනීමට දැඩි බාධාවක් වී ඇති බවත් ලෝරන්ස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකාවට පනවන ලද තීරුබදු අනුපාත යම් මට්ටමකට පහළ ගියද, පුළුල් ද්විපාර්ශ්වික වෙළෙඳ රාමුවක් ඇති කරගන්නා තෙක් මෙම තත්ත්වය අභියෝගාත්මක වනු ඇතැයි ඒ මහතා අවධාරණය කළේය.














