ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව පාරිසරික වැඩසටහන් සඳහා දායක කර ගැනීමේ ජාතික වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජීය කොමිසමේ (UNESCAP) ඉහළ පැසසුම් හිමිව තිබේ. තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති 9 වන පරිසර හා සංවර්ධනය පිළිබඳ සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මේ බව අනාවරණය කළේය.
මෙම සංචාරයේ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරිස් ගිවිසුම සහ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ජාත්‍යන්තරය හමුවේ නැවත තහවුරු කළ බවයි. ශ්‍රී ලංකාවේ නවතම ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය (NDC 3.0: 2026–2035) යටතේ 70%ක පුනර්ජනනීය විදුලි බල ඉලක්කය, ප්‍රවාහන ක්ෂේත්‍රය විද්‍යුත්කරණය සහ දේශගුණයට ඔරොත්තු දෙන බුද්ධිමත් කෘෂිකර්මාන්තය වැනි හරිත මුලපිරීම් ගෝලීය අවධානයට ලක් විය.
UNEP ආසියා-පැසිෆික් කලාපීය අධ්‍යක්ෂකවරිය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික සාක්ෂරතා දර්ශකය සහ ප්ලාස්ටික් දූෂණය පාලනය සඳහා වන උපායමාර්ගික වැඩපිළිවෙළ අගය කිරීමට ලක් විය. මෙම සමුළුව හරහා වායු දූෂණය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා ගැනීමටත්, හරිත ආයෝජන සහ දේශගුණික මූල්‍යකරණ අවස්ථා රට තුළට ආකර්ෂණය කර ගැනීමටත් මග පෑදී ඇති බව අමාත්‍යංශය පවසයි.
















