පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධ අධිකරණ නියෝගයකින් හිමිවරුන්ගේ නම් පසුව ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට චෝදනා කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එජාපය පවසන්නේ අදාළ ක්රියාදාමයට සම්බන්ධ නොවූ භික්ෂූන් වහන්සේලාගේ නම් පවා මුලින් අධිකරණ නියෝගයට ඇතුළත් කර තිබූ බවයි. එලෙස නම් ඇතුළත් කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි ප්රශ්න කරන එම පක්ෂය, පසුව එම නම් ඉවත් කිරීම අධිකරණය නොමඟ යැවීමක් බවටද චෝදනා කරයි.
භික්ෂූන් වහන්සේලාගේ නම් අදාළ නියෝගයෙන් ඉවත් කිරීමෙන් ඔවුන්ගේ ක්රියාකාරකම් ආරක්ෂාවට තර්ජනයක් නොවන බව තහවුරු වන බවද එජාප නිවේදනයේ සඳහන් වේ.
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මීට පෙර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති අරගලයට සහ විරෝධතාවලට සහාය ලබාදුන් බව සිහිපත් කරන එම පක්ෂය, එදා විරෝධතාවලට සහාය දුන් පිරිස් අද ඊට ප්රතිවිරුද්ධ ක්රියාමාර්ග අනුගමනය කරන්නේ කෙසේදැයි ප්රශ්න කර තිබේ.
එමෙන්ම, වත්මන් ආණ්ඩුව බුද්ධාගමට සහ මහා සංඝරත්නයට එරෙහි ක්රියාමාර්ග අනුගමනය කරන බවටද එජාපය චෝදනා කර ඇත. ආණ්ඩුවේ මෙම ක්රියාපිළිවෙත හෙළා දකින බවත්, බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට හානි කිරීමට කිසිදු ලෙසකින් ඉඩ නොදෙන බවත් එම පක්ෂය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.












