එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එම පක්ෂ දෙක අතර එකමුතුකම සම්බන්ධයෙන් නායකයින් සාකච්ඡා කර ඇති බවත්, මූලික පදනමක් සහිතව ඊළඟ පියවරට යා හැකි බවත්ය. පවතින දේශපාලන බලවේග එකිනෙකා කැඩී යාම වෙනුවට එක්ව කටයුතු කිරීම රටේ ප්‍රධාන පෙළේ විපක්ෂයක් ගොඩනැගීමට වැදගත් බව ඒ මහතා අවධාරණය කළේය. වතුකරයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ දෛනික වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, රජය විසින් සිදු කර ඇති රුපියල් 700ක වැටුප් වැඩිවීම එදිනෙදා බඩු මිල සමඟ සසඳන විට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය. තම පක්ෂය බලයේ සිටියේ නම් නිෂ්පාදන ධාරිතාවය මත පදනම් වූ වැටුප් සූත්‍රයක් මගින් මීට වඩා සහනයක් වතුකරයේ ජනතාවට ලබා දෙන බවත්, රජය බදු ගෙවන ජනතාවගේ මුදල් වැටුප් ගෙවීමට භාවිතා කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා, රජය විසින් සිදු කරනු ලබන දූෂණ විරෝධී වැඩපිළිවෙළට තම පක්ෂය විරුද්ධ නොවන බවත්, දේශපාලන වෛරයකින් තොරව නීත්‍යානුකූලව එය සිදු කරන්නේ නම් සහය දක්වන බවත් පැවසීය. කෙසේ වෙතත්, වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, එය රජයේ නොහැකියාව පෙන්වා දෙන සිදුවීමක් බවත්, එම තීරණය සඳහා අධිකරණ අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු පාර්ශවයන් ජීවිත හානි සඳහා වගකිව යුතු බවත් සඳහන් කළේය.














