සයිබර් අපරාධකරුවන් විසින් ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල යළි ලබාගැනීම අතිශය දුෂ්කර ක්‍රියාවලියක් බව මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) පවසයි. සයිබර් අපරාධකරුවන් විසින් සොරාගන්නා මුදල් පැය කිහිපයක් ඇතුළත විවිධ රටවල අධිකරණ බල ප්‍රදේශ හරහා සංසරණය කරවන බැවින්, ඒවා හඹා ගොස් අත්පත් කර ගැනීම සංකීර්ණ නීතිමය ගැටලුවක් බව එම කාර්යාලයේ නිලධාරියෙක් පෙන්වා දී තිබේ.ඕස්ට්‍රේලියාවේ ‘එක්ස්පෝර්ට් ෆයිනෑන්ස්’ ආයතනයට ගෙවීමට තිබූ විදේශ ණය වාරිකයක්, ව්‍යාජ ඊමේල් පණිවුඩ හරහා වෙනත් ගිණුමකට හරවා ගනිමින් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කර ඇත. මහා භාණ්ඩාගාරය සයිබර් ප්‍රහාරවලට ගොදුරු වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ යල් පැනගිය තාක්ෂණික පද්ධති භාවිත කිරීම බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිකුත් කළ වාර්තාවක සඳහන් වන අතර, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මධ්‍යම මට්ටමේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.














