නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියි.
පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව ක්ෂණිකව විශාල වත්කම් උපයාගත් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු දන්වන ලෙස පොලිසිය පසුගිය ජූලි 9 වැනිදා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකාවේ වත්කම් බද්දක් නොමැති වීම, විදේශ රැකියාවලින් වත්කම් උපයාගත් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිස් සිටීම සහ නීත්‍යානුකූල නොවන ආදායම් තීරණය කිරීමට නිශ්චිත ක්‍රියාපටිපාටියක් නොමැති වීම නිසා මෙම ප්‍රකාශය ජනතාව හිරිහැරයට සහ බියගැන්වීමට ලක්වන මෙවලමක් විය හැකි බව එජාපය පෙන්වා දෙයි.
එබැවින්, අදාළ අංශ සමඟ සාකච්ඡා කර වඩාත් නිශ්චිත මාර්ගෝපදේශ නිකුත් කරන තෙක් පොලිසිය මෙම ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බව එම පක්ෂය අවධාරණය කරයි.
















