රට පුරා ලියාපදිංචි නොවී පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස 300කට අධික ප්‍රමාණයක් පවතින බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් තහවුරු කර තිබේ. මේ වන විට මෙරට වැඩිහිටි නිවාස 456ක් ක්‍රියාත්මක වන අතර, ඉන් නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලියාපදිංචි වී ඇත්තේ නිවාස 148ක් පමණි.
මෙතෙක් ලියාපදිංචි නොවූ වැඩිහිටි නිවාසවල හිමිකරුවන්ට එම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස දැනුම් දී තිබුණද, ඔවුන් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව වාර්තා වේ. මේ හේතුවෙන්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ ඇමැති උපාලි පන්නිල මහතාගේ උපදෙස් පරිදි, මෙම නිවාස ලියාපදිංචි කර ගැනීම සඳහා නිශ්චිත කාලසීමාවක් ලබා දීමට තීරණය කර ඇත.
එම ලබා දී ඇති කාලසීමාව තුළ ලියාපදිංචි නොවන්නන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන කාලසීමාව පිළිබඳව සහ ලියාපදිංචි වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ගැන ලියාපදිංචි නොවූ සියලුම වැඩිහිටි නිවාස වෙත ලිඛිතව දැනුම් දීමට නියමිත බව එම කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















