පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය (UNRWA) විසින් ගාසා තීරයේ සේවය කළ තම සේවකයින් 70 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබේ.
UNRWA ආයතනය පුරා හමාස් (Hamas) ක්‍රියාකාරීන් රැඳී සිටින බවට ඊශ්‍රායලය වසර ගණනාවක සිට එල්ල කරන චෝදනා සහ මෑතකදී ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනයේ (USAID) බුද්ධි අංශය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම දැඩි තීරණය ගෙන ඇත. USAID වාර්තාවලට අනුව, මෙම සේවකයින් අතර හමාස් සංවිධානයේ යුද අංශයට සෘජුවම සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ වෛද්‍ය සේවකයන් පවා සිට ඇති බව හෙළි වී තිබේ.
කෙසේ වෙතත්, UNRWA හි තාවකාලික ප්‍රධානී ක්‍රිස්ටියන් සෝන්ඩර්ස් (Christian Saunders) ප්‍රකාශ කර සිටින්නේ, මෙම සේවකයන් පිරිස ඉවත් කරනු ලැබුවේ ගාසා තීරයේ සිටින සරණාගතයින්ගේ සහ සිය ආයතනයේ ආරක්ෂාව මෙන්ම මධ්‍යස්ථභාවය (Neutrality) රැක ගැනීම සඳහා වන ආරක්ෂක තක්සේරුවකට (Safety and security risks) අනුව මිස, ඊශ්‍රායලයේ චෝදනා නිල වශයෙන් පිළිගැනීමක් ලෙස නොවන බවයි.
මෙම හදිසි සේවක දොට්ට දැමීම පිටුපස තවත් ප්‍රධාන හේතුවක් පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි. එනම්, හමාස් සාමාජිකයන් රැඳී සිටින බව පවසමින් ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් UNRWA ආයතනයට අයත් ගොඩනැගිලි සහ කාර්යාල ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී දරුණු ප්‍රහාර එල්ල කරනු ඇතැයි පවතින දැඩි බියයි. මේ අතර, ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ UNRWA හි මෙම පියවර හුදෙක් තමන්ගේ වැරදි වසා ගැනීමට (Cynical cover-up) සිදුකළ එකක් බවත්, එම ආයතනය මුළුමනින්ම හමාස් සංවිධානයේ මෙවලමක් බවට පත්ව ඇති බවත්ය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















