ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ඇමෙරිකානු මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමය යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් අද අගය කරන ලදී. කෙසේ වෙතත්, ඇයගේ එම නිල ප්‍රකාශය තුළ ගැබ්ව තිබූ රාජ්‍යතාන්ත්‍රික ස්වරය ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ඇය සිය සම්පූර්ණ ප්‍රකාශයම වෙන් කර තිබුණේ ලෙබනනයේ ස්වෛරීභාවය, එරට පවතින මානුෂීය අවශ්‍යතා සහ සහන සේවා පිළිබඳව අවධාරණය කිරීමටය. ලෙබනනය යළි ගොඩනැඟීම සහ එරට එක්සත්භාවය පිළිබඳව ඇය දැඩි බලාපොරොත්තු පළ කළද, එම ප්‍රකාශයේ කිසිදු තැනක ඊශ්‍රායලය පිළිබඳව හෝ ඊශ්‍රායලයේ ආරක්ෂාව පිළිබඳව සඳහන් කර නොතිබීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් යුරෝපා සංගමය මෙවැනි අවස්ථාවලදී දෙපාර්ශවයම සමබරව ඇමතීමට උත්සාහ කළද, මෙවර ඇය ඊශ්‍රායලය මුළුමනින්ම මඟහැර තිබේ.
විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අගමැති නෙතන්යාහුගේ පරිපාලනය කෙරෙහි යුරෝපය තුළ පවතින ඉවසීම දැන් සීමා වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම ගාසා තීරයේ සහ ලෙබනනයේ සිදුවන දරුණු මානුෂීය විනාශයන් හමුවේ යුරෝපා සංගමය ඊශ්‍රායලය කෙරෙහි වඩාත් දැඩි සහ විවේචනාත්මක ස්ථාවරයක් ගැනීමට පටන් ගෙන ඇති බව මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඇමෙරිකාව ඊශ්‍රායලයට සමීපව සහාය දක්වන පසුබිමක, යුරෝපය ලෙබනනය වැනි අර්බුදයට පත් අනෙක් පාර්ශවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මැදපෙරදිග දේශපාලනයේ පැහැදිලි බෙදීමක් නිරූපණය කරන්නකි.
තොරතුරු උපුටා ගැනීම:mario nawfal(x) ඇසුරෙන්














