හෝමුස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු හමුදාව විසින් ඉලක්ක කර විනාශ කරන ලද යාත්‍රා හය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් නොවන, භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය කළ සිවිල් යාත්‍රා බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය හේතුවෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තස්නිම් පුවත් ඒජන්සිය සඳහන් කරයි.
ඉරාන හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඕමාන වෙරළ තීරයේ කසාබ් සිට ඉරාන වෙරළ දෙසට ගමන් කරමින් තිබූ මෙම කුඩා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා අමෙරිකානු හමුදා ප්‍රහාරයට ලක්වූ බවයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ වේගවත් යාත්‍රා මෙහෙයුම් පිළිබඳව අමෙරිකානු හමුදාව තුළ පවතින බිය සහ භීතිය හේතුවෙන් ඔවුන් මෙවැනි අදූරදර්ශී ක්‍රියාවල නිරත වන බව එම නිලධාරියා වැඩිදුරටත් චෝදනා කරයි.
මේ අතර අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) පවසන්නේ, වාණිජ නෞකාවලට තර්ජනයක් එල්ල කළ ඉරාන යාත්‍රා විනාශ කිරීම සඳහා සී හෝක් සහ ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යාත්‍රා යොදා ගත් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන වාණිජ නෞකාවල ගමනාගමනයට බාධා කිරීමට උත්සාහ කිරීම නිසා මෙම යාත්‍රා ඉලක්ක කළ බව වොෂින්ටනය සඳහන් කරයි.














