කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නෞකා වරාය තුළ රැඳී සිටින කාලය අවම කිරීම සඳහා අමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 15ක මූල්‍ය සහායක් ලබාදීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය ප්‍රකාශ කර තිබේ. බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ කොංග්‍රස් අනුමැතිය ලැබුණු වහාම එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා Merchant Shipping Secretariat ආයතනය බලවත් අධිකාරියක් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර, කොළඹ වරායේ දෙවන බටහිර පර්යන්තය (WCT-2) සංවර්ධනය සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීමට මූල්‍ය ආයතනවල සහාය අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත. සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය ඇතුළු අමෙරිකානු නියෝජිත පිරිස සැප්තැම්බර් 09 සිට 11 දක්වා පැවැත්වෙන 08 වැනි කොළඹ ජාත්‍යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව සඳහාද එක්වීමට නියමිතය.














