අමෙරිකානු ක්‍රිප්ටෝ වෙළෙඳපොළ නියාමනය කිරීම සඳහා වන CLARITY පනත (CLARITY Act) සලකා බැලීම අප්‍රේල් මාසයෙන් ඔබ්බට කල් යාමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. රිපබ්ලිකන් සෙනෙට් සභික තොම් ටිලිස් (Thom Tillis), සෙනෙට් බැංකු කමිටු සභාපති ටිම් ස්කොට්ගෙන් (Tim Scott) ඉල්ලා ඇත්තේ මෙම පනත පිළිබඳ සාකච්ඡා ලබන මැයි මාසය දක්වා කල් දමන ලෙසයි.
මෙහි පවතින ප්‍රධානතම මතභේදය වන්නේ ස්ටේබල්කොයින් සඳහා පොලී හෝ ප්‍රතිලාභ ලබා දීම පිළිබඳවයි. සාම්ප්‍රදායික බැංකු පද්ධතිය අනතුරු අඟවන්නේ ස්ටේබල්කොයින් සඳහා පොලී ලබා දුන්නහොත්, බැංකුවල ඇති තැන්පතු විශාල වශයෙන් ක්‍රිප්ටෝ ක්ෂේත්‍රය වෙත ඇදී යා හැකි බවයි. විශේෂයෙන්ම ප්‍රාදේශීය බැංකුවලට මෙම තත්ත්වය දරාගත නොහැකි වනු ඇතැයි ඔවුන් බිය පළ කරති.
Coinbase හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් ආම්ස්ට්‍රෝං ඇතුළු ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පවසන්නේ, කර්මාන්තයේ වර්ධනය සඳහා වඩාත් නම්‍යශීලී නීති පද්ධතියක් අවශ්‍ය බවයි. තැන්පතු පවත්වාගෙන යාම සඳහා පමණක් නොව, විවිධ ක්‍රියාකාරකම් මත පදනම්ව ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමවේදයක් පිළිබඳව දෙපාර්ශ්වය අතර සම්මුතියකට පැමිණීමට උත්සාහ කරමින් සිටී.
නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණයට (Midterm Elections) පෙර මෙම පනත සම්මත කර ගැනීමට ඇති අවස්ථාව මේ වන විට අවම වෙමින් පවතී. ‘ඩිජිටල් චේම්බර්’ (The Digital Chamber) වැනි කර්මාන්ත බලපෑම් කණ්ඩායම් පවසන්නේ, අමෙරිකානුවන් මිලියන 70කට අධික පිරිසක් ඩිජිටල් වත්කම් භාවිතා කරන බැවින් තවදුරටත් බලා සිටිය නොහැකි බවත්, වහාම නීතිමය පැහැදිලිභාවයක් (Regulatory clarity) ලබා දිය යුතු බවත්ය.
බැංකු පද්ධතිය සහ ක්‍රිප්ටෝ තාක්ෂණය අතර පවතින මෙම ගැටුම නිරාකරණය කර ගනිමින් මැයි මාසයේදී පොදු එකඟතාවකට පැමිණීමට හැකි වේද යන්න පිළිබඳව මුළු මහත් මූල්‍ය ලෝකයම අවධානයෙන් පසුවෙයි.














